
“අනේ පුතේ උඹලා රණ්ඩු වෙන්න එපා…” – මිනීමරු පොරෝ පහර හමුවේත් දරුවන්ට වෛරය එපා කී ඒ උත්තම මාතාව නිහඬවම සමුගනී..
මවකගේ ආදරය කෙතරම්ද යන්න ලොවටම පසක් කරමින්, තමන්ව මරණාසන්න කළ මිනීමරු පොරෝ පහරවල් එල්ල වෙද්දී පවා, රෝහල් යහනේ සිට තම දරුවන්ට “වෛරය එපා” යැයි පැවසූ කළුතර, කිතුලාව, ලාගොස්වත්තේ පදිංචිව සිටි 71 හැවිරිදි එච්. පී. යසවතී මාතාව සිය අවසන් හුස්ම හෙළා තිබෙනවා.
මීට වසර 20කට පමණ පෙර සිදුවූ සුළු බැනවැදීමක් සිතේ තබාගෙන, අසල්වැසි ඥාති පුත්‍රයෙකු විසින් එල්ල කළ අමානුෂික පොරෝ පහරවල් හමුවේ මෙම මව දැඩි ලෙස තුවාල ලැබුවාය.
නිවසේ තනිව සිටි අවස්ථාවේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඇයගේ මුහුණ, බෙල්ල සහ දෑස්වලට බරපතළ හානි සිදුවී තිබුණි.
“අර පිස්සා මට පොරවෙන් කෙටුවට අනේ පුතේ උඹලා රණ්ඩු වෙන්න යන්න එපා. පොලිසි ගානේ යන්නත් එපා. උඹල පරිස්සමින් ඉන්න බලාපල්ලා.” මරණය පෙනි පෙනී රෝහල් ඇඳ මත සිටියදීත් ඇය තම දරුවන්ට ලබා දුන් අවසන් අවවාදය එයයි.
තමන්ට වින කළ පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති කර නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටියේ දරුවන්ගේ අනාගතය ගැන සිතමිනි.
යසවතී මාතාවගේ වැඩිමහල් දියණිය වන ඉනෝකා හඬමින් පවසා සිටියේ තම මවට සිදුවූ අසාධාරණය දරාගත නොහැකි බවයි.
“අපේ අම්මා හරි ලස්සන කෙනෙක්. ඒත් අද ඒ මුහුණ බලන්න බැරි තරමට විකෘති කරලා.” ඇය පවසන්නේ සැකකරු මීට පෙරද නිවසට පැමිණ ආහාර ගෙන ගිය බවත්, ඔහු කෙරෙහි කිසිදු සැකයක් තමන්ට හෝ මවට නොතිබුණු බවත්ය.
පහරදීමෙන් ඇතිවූ තුවාල උත්සන්න වීමෙන් පෙනහළුවලට ලේ වහනය වී නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීම නිසා ඇය දින නවයකට පසු මෙලොව හැර ගියාය.
පසුගිය 02 වැනිදා සන්ධ්‍යාවේ කළුතර, කිතුලාව පොදු සුසාන භූමියේදී ඇයගේ දේහය මිහිදන් කෙරුණේ මුළු ගම්මානයම කඳුළින් නහවමිනි.
සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලේ රඳවා සිටියද, දරුවන්ට අහිමි වූ ඒ දයාබර මවගේ අඩුව කිසිදිනක පිරවිය නොහැකි වනු ඇත.

