රුපියල් ලක්ෂ 60 පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ගණේමුල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී අදාල රන් ආභරණ කොල්ලකා ඇති අතර ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ විමර්ශනයට අදාළව කිරිබත්ගොඩ ප්රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 17 සහ 20ක තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන් කැන්දලියද්දපාලුව හා ගණේමුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වී ඇත්තේ .
සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්රශ්න කිරීම්වලදි මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්රෑම් 121 මිලිග්රෑම් 350ක් සහ ග්රෑම් 17 මිලිග්රෑම් 15ක් බර රන් කැබලි දෙකක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා .
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

