මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික අවුරුදු කැවිලි මේසයක් පිළියෙල කිරීම සඳහා වැය වන පිරිවැය පසුගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වේරිටේ රිසර්ච් (Verite Research) ආයතනය පවසයි.
එම ආයතනයට අනුබද්ධ PublicFinance.lk වේදිකාව මගින් සිදු කළ නවතම විශ්ලේෂණයකට අනුව, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී අවුරුදු කැවිලි පිරිවැය 7.0% කින් ඉහළ ගොස් තිබේ.
රටේ පැවති වසංගත තත්ත්වයට සහ ආර්ථික අර්බුදයට පෙර, එනම් 2019 වසරට සාපේක්ෂව බලන කල, මෙවර අවුරුදු මේසයේ පිරිවැය 2.5 ගුණයකින් වැඩි වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
මෙය සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම කෙරෙහි එල්ල වී ඇති දැඩි බලපෑම මැනවින් පිළිබිඹු කරන තත්ත්වයකි.
සමස්ත පිරිවැය ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාමයි.
මුළු පිරිවැය වැඩිවීමෙන් 80% කටම දායකත්වය ලබා දෙන්නේ මෙම අමුද්‍රව්‍ය දෙක බව වේරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.
අවුරුදු මේසයක අත්‍යවශ්‍ය සාම්ප්‍රදායික කැවිලි වර්ග අටෙන් හයකම මිල ගණන් මෙවර ඉහළ ගොස් ඇත.
මෙම විශ්ලේෂණය සඳහා පහත කැවිලි වර්ග ඇතුළත් කර තිබේ:
කිරිබත්
කොකිස්
කෙසෙල්
අලුවා
කැවුම්
දොදොල්
මුං කැවුම්
බටර් කේක්
මෙම මිල දත්ත ලබාගෙන ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් විවෘත වෙළඳපල සිල්ලර මිල ගණන් පදනම් කරගනිමිනි.
ඒ අනුව, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේදී සාම්ප්‍රදායික සිරිත් විරිත් ඉටු කිරීමට සාමාන්‍ය ජනතාවට පෙර වසරවලට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු වන බව වේරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.

