පුරා මාසයක කාලයක් ශුද්ධ වූ අල්කුර්ආනයට අනුගත වෙමින්, පංචේන්ද්‍රියන් දමනය කරමින් මුස්ලිම් බැතිමතුන් සුරැකි රාමසාන් උපවාස සමය අදින් නිමාවට පත්වේ.
කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ, පෙරේදා සන්ධ්‍යාවේ නව සඳ දිස් නොවීම හේතුවෙන් මෙවර රාමසාන් මාසය දින 30කින් සම්පූර්ණ වූ බවයි.
ඒ අනුව, ඉස්ලාමීය බැතිමතුන් අද (21) මහත් හරසරින් රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් (Eid-ul-Fitr) උත්සවය සමරනු ලබයි.
මෙම උතුම් දිනය සැමරීම සඳහා අද උදෑසන දිවයින පුරා පිහිටි ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන අතර, බැතිමතුන් පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ සහෝදරත්වයෙන් යුතුව මෙම උත්සවය සැමරීමට එක්ව සිටිති.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ ආර්ථික පීඩනයන් හමුවේ වුවද, ත්‍යාගශීලීත්වය පෙරදැරි කරගනිමින් දිළිඳු ජනතාවට උදව් උපකාර කරමින් බැතිමතුන් මෙවර උත්සවය සැමරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

