අද (අප්‍රේල් 06) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
කොළඹ සිට මිදිගම දෙසට ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස රෝදයක හුළං බැසීම හේතුවෙන්, රියදුරු විසින් එය මාර්ගයේ නවතා රෝදය ගලවමින් සිටියදී මෙම අනතුර සිදුවිය.
එම අවස්ථාවේම එකම දිශාවට ධාවනය වූ සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසර් රථයක් පාලනයකින් තොරව ගොස් නවතා තිබූ කන්ටේනරයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බවුසර් රථයේ ගමන් ගත් තිදෙනෙකු සහ කන්ටේනර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රථ තුළ සිරවී සිටියහ.
අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍ය කිත්මා ගුණරත්න සහ ඇයගේ සැමියා වන දෙනියාය දෑරංගල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය විද්ව කළුතොට යන මහත්ම මහත්මීන් වහා ක්‍රියාත්මක වී තුවාල ලැබූවන්ගේ ජීවිත බේරා ගැනීමට මැදිහත් වූහ.
පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ රැඳී සිටි වෛද්‍ය යුවළ, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමඟ එක්ව, සිරවී සිටි පුද්ගලයන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූහ.
වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ STF නිලධාරීන් විසින් රථ තුළ සිරවී සිටි තුවාලකරුවන් පිටතට ගෙන ඔක්සිජන් ලබා දෙමින් ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කිරීම ප්‍රශංසනීය විය.
අනතුරින් බවුසර් රථයේ සිරවී සිටි රියදුරු මුදාගැනීමට පැය තුනකට ආසන්න කාලයක් ගත විය.
මෙම සහන කටයුතු හේතුවෙන් අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පැය දෙකකට ආසන්න කාලයක් වසා දැමීමට සිදුවූ අතර, රියදුරු මුදාගැනීමේ අවසාන අදියරේදී මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු විය.
දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පවසන පරිදි, අනතුරින් තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන් එහි ප්‍රතිකාර ලබමින් සිටිති.
වෘත්තීය වගකීමෙන් ඔබ්බට ගොස්, හදිසි අවස්ථාවකදී මිනිස් ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූ මෙම වෛද්‍ය යුවළගේ ක්‍රියාව අද දින සමාජ මාධ්‍ය තුළත් මහත් කතාබහට ලක්වූ මානුෂීය සිදුවීමක් විය.

