ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වෙසක් මංගල්‍යය වෙනුවෙන් 2026 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උදාර අනුශාසනා පරිදි, බුද්ධශාසන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව ඇත.
‘අභිත්ථරෙථ කල්‍යාණෙ’ – “පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු” යන උදාර බුදු වදන තේමාව කරගනිමින් මෙවර වෙසක් සමය අර්ථවත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුද්ගල පටු අරමුණුවලින් බැහැරව සමස්ත සමාජයේම අභිවෘද්ධිය උදෙසා ධර්මයේ මඟ පෙන්වීම ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.
2570 වන ශ්‍රී බුද්ධ වර්ෂය සැමරීම වෙනුවෙන් 2026 මැයි මස 27 වන දින සිට ජුනි මස 02 වන දින දක්වා කාලය “වෙසක් සතිය” ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සතිය පුරා දිවයිනේ සෑම විහාරස්ථානයක්ම කේන්ද්‍ර කරගනිමින් ශීල සමාදාන, ධර්ම දේශනා සහ ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ අදාළ අමාත්‍යාංශ එක්ව මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජාතික මට්ටමේ පූජෝත්සව රැසක් සංවිධානය කරනු ලබයි.

