ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්දියාවේ කොන්ඩම් නිෂ්පාදන ක්ෂේත්රය දැඩි අමුද්‍රව්‍ය හිඟයකට සහ මිල ඉහළ යාමකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ හටගෙන ඇති මෙම අර්බුදය, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල මහජන සෞඛ්‍ය කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.
ප්‍රධාන පෙළේ ඉන්දීය නිෂ්පාදකයින් පවසන්නේ යුද ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත වෙළෙඳ මාර්ග අවහිර වීම නිසා අමුද්‍රව්‍ය සැපයුම අඩාල වී ඇති බවයි.
කොන්ඩම් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous ammonia) මිල 40% සිට 50% දක්වා ඉහළ ගොස් ඇත.
නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඇමෝනියා ප්‍රමාණයෙන් 86%ක්ම සෞදි අරාබිය, කටාර් සහ ඕමානය වැනි රටවලින් ආනයනය කරන අතර, නාවික මාර්ග අවහිර වීම නිසා එම තොග ලැබීම ප්‍රමාද වී තිබේ.
ලිහිසි ද්‍රව්‍ය ලෙස භාවිත කරන සිලිකන් ඔයිල් සපයා ගැනීම දුෂ්කර වී ඇති අතර, ඇසුරුම්කරණය සඳහා යොදාගන්නා ඇලුමිනියම් පත්‍ර සහ PVC මිල ගණන් ද ඉහළ ගොස් ඇත.
ඉන්දියාව වසරකට කොන්ඩම් කෝටි 400කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ද ඉන්දීය නිෂ්පාදන මත විශාල වශයෙන් රඳා පවතී.
නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මෙරට ෆාමසි සහ වෙළෙඳසැල්වල ඇති කොන්ඩම් මිල ඉහළ යාමට නියමිතය.
රජය සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සහන මිලට ලබාදෙන නිෂ්පාදන සඳහා අවශ්‍ය තොග නියමිත වේලාවට නොලැබී යාමෙන් සැපයුම් හිඟයක් ඇති විය හැකිය.
මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයින් කොන්ඩම් භාවිතයෙන් බැහැර වුවහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත ගැබ් ගැනීම්, මාතෘ හා ළදරු මරණ සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STI) ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ඉන්දීය වෛද්‍ය සංගමය (IMA) පෙන්වා දෙයි.

