
ලෝක තෙල් මිල ගිනි ගනී – ලංකාවේ පාරිභෝගිකයාටත් හෙණ හතක් පාත්වෙයිද?
ලෝක වෙළෙඳපොළෙන් අද ඇසුණේ සාමාන්‍ය ජනතාවගේ බඩගින්නටත්, සාක්කුවටත් සෘජුවම බලපාන අසුභ පුවතකි.
දීර්ඝ කාලයකට පසු ජාත්‍යන්තර බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාවත් අලු දූවිලි කරමින් ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එකවරම 18%කින් ඉහළ ගොස් ඇති අතර, එහි නවතම මිල සටහන් වන්නේ ඩොලර් 108.68ක් ලෙසයි.
මීට නොදෙවැනි ලෙස ඩබ්ලිව්.ටී.අයි (WTI) වර්ගයේ බොරතෙල් මිල ද 20%කට ආසන්න පිම්මක් පනිමින් ඩොලර් 108 දක්වා ඉහළ ගොස් ඇත.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මෙලෙස රත් වෙද්දී, එහි රශ්මිය ලංකාවේ අපිටත් නොදැනී තිබිය නොහැක.
ඩොලරය සමඟ සටන් කරන අපේ රටේ ආර්ථිකයට මෙය දැවැන්ත අභියෝගයකි.
ජාත්‍යන්තරයේ මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉදිරියේදී මිල සංශෝධනයක් සිදු වුවහොත්, එහි සෘජු ප්‍රතිඵලය වන්නේ බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු සහ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය බඩු මිල තවත් ඉහළ යාමයි.
විශේෂයෙන්ම විදුලි උත්පාදනයට සහ ප්‍රවාහනයට තෙල් අත්‍යවශ්‍ය වන පසුබිමක, ලෝකයේ සිදුවන මෙම “තෙල් සෙල්ලම” ලංකාවේ සාමාන්‍ය වැසියාගේ මුළුතැන්ගෙයටත් කඩා වැදීමේ අවදානමක් මතුව ඇත.
ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය දෙස මුළු රටම දෑස් දල්වා බලා සිටින්නේ මේ නිසාවෙනි.

