හැටන් ප්‍රදේශයේ ප්රමුඛ පෙළේ පාසලක පන්ති කාමරයක් තුළදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු හැටන් මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (28) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම ගැටුම හටගෙන ඇත්තේ මීට සති තුනකට පමණ පෙරය.
එහිදී එම පාසලේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් හටගෙන ඇති අතර, ඊට එම පාසලේම ආදි සිසුවෙකු ද සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ.
මුලින් මෙම සිද්ධිය පාසල් මට්ටමින් සමතයකට පත් කර තිබුණ ද, පසුව අදාළ පහරදීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ සිද්ධිය යළි කරළියට පැමිණ ඇත.
පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් ඊයේ (28) දින හැටන් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, පහරදීමට සම්බන්ධ වූ බව කියන සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ බව කියන සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (29) දින හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව මහේස්ත්රාත්වරයාගේ නියෝග පරිදි සැකකාර සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා ඔවුන්ගේ දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කරන බව හැටන් මූලස්ථාන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

