ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට විදුලිය ලබා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා නීතිඥවරයකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නා.
අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත්වූ මූලික කරුණු සලකා බැලීමෙන් පසු මේ අවසරය ලබා දී තිබෙනවා .
මෙම පෙත්සම නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනු කර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙන අතර පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර සිටියා .
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් මෙලෙස ද සඳහන් කර සිටියා .
“පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට ගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීම ඔවුන් විසින් පැහැර හැර තිබුණා. එලෙස පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2කට අධික මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණා. ඒත් ඔවුන් එම විදුලි ගාස්තු ගෙවා තිබූණේ නෑ. සාමාන්‍ය ජනතාවගේ ඉතා අඩු ගාස්තු සහිත විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදු කරනවා. එහෙත් රුපියල් මිලියන දෙකකට අධික විදුලි ගාස්තුවක් නිසි වේලාවට අය කරගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක්.
එමඟින් වූ පාඩුව අය කරගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරු මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එම විවාහ උත්සවයෙන් පසුව මේ නඩුකරය ගොනු කිරීමෙන් පසු අදාළ විදුලි බිල ගෙවා දැමීම අවසන් කර තිබෙනවා.
කෙසේ වුවද ලංකා විදුලි බල මණ්ඩලයේ මේ අසාමාන්‍ය ක්‍රියා කලාපය සහ අදාළ විදුලි බිල නිසි වේලාවට නොගෙවීම නිසා මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අධිකරණයෙන් ප්‍රකාශයක් ගැනීම පමණක් මේ නඩුකරය පවත්වාගෙන යෑමෙන් අපේක්ෂා කරනවා.”
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විදුලි ගාස්තු මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් කර සිටි අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙනු ලැබුවා .

