මෙරට පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරිමැසීම සහ ජනතාව පත්ව ඇති පීඩනය අවම කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය සඳහා දින හතරක වැඩ සතියක් හඳුන්වා දීමේ විශේෂ යෝජනාවක් කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
මෙම තීරණාත්මක යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සදහන්.
මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස සියලුම රජයේ ආයතන ප්‍රධානීන්ට දැනටමත් දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, ඉන්ධන අර්බුදයට පිළියම් ලෙස දින හතරක වැඩ සතිය ඇතුළු යෝජනා කිහිපයක් මේ වන විට සලකා බලමින් පවතින බවයි.
වැඩ කරන දින ගණන සීමා කිරීමට අමතරව, ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ පෝලිම් පාලනය කිරීම සඳහා වන තවත් යෝජනා කිහිපයක් ද අද පස්වරුවේ පැවැත්වෙන මෙම රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත.

