දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අංශ විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම එළිමහනේ පවත්වන ජන ක්‍රීඩා සහ තරගකාරී ඉසව් සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය රුවන් ජයසූරිය මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අවධාරණය කළේ, පවතින දැඩි හිරු රශ්මිය හමුවේ ක්‍රීඩකයින්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවයි.
ගම හරහා දිවීම, පාපැදි තරග ඇතුළු ජන ක්‍රීඩා සංවිධානය කරන පිරිස් සඳහා වෛද්‍යවරයා විශේෂ කාලරාමුවක් ලබාදී ඇත. ඒ අනුව:
උදෑසන වරුවේ: එළිමහන් ක්‍රියාකාරකම් සියල්ල උදෑසන 10ට පෙර අවසන් කළ යුතුය.
සවස වරුවේ: යළිත් තරග ආරම්භ කරන්නේ නම් එය පස්වරු 3න් පසුව සිදු කිරීම වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දෙයි.
අධික උෂ්ණත්වය නිසා ශරීරය අසාමාන්‍ය ලෙස රත්වීමෙන් සිදුවන හානිය හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් පිළිබඳව වෛද්‍ය රුවන් ජයසූරිය මහතා දැනුවත් කළේය:
අසාමාන්‍ය ලෙස මස්පිඩු පෙරළීම.
දරාගත නොහැකි අධික මහන්සියක් දැනීම.
ක්ලාන්ත ගතිය හෝ හිසරදය.
මෙවැනි රෝග ලක්ෂණයක් දැනුණු සැනින් ක්‍රීඩාවෙන් ඉවත් වී, වහාම සෙවණකට ගොස් සිසිල් ජලය පානය කර ශරීර උෂ්ණත්වය අඩු කර ගැනීමට ක්‍රියා කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
අවුරුදු උත්සව සංවිධානය කරන ප්‍රජා සමිති සහ ආයතන වෙත වෛද්‍යවරයා පවසන්නේ, තරග පැවැත්වෙන ස්ථානවල සිසිල් ජලය, අයිස් කැට සහ අවශ්‍ය ප්‍රථමාධාර පහසුකම් අනිවාර්යයෙන්ම සූදානම් කර තැබිය යුතු බවයි.

