මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (16) පස්වරුවේ පීලි පැනීමට ලක්ව තිබු අතර දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා .
දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට සිදුවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා .
මේ අතර අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටා ඇති දොඩංදූව, හික්කඩුව, කහව සහ අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කෙරෙන බව සඳහන්.
එමෙන්ම බෙලිඅත්ත සිට ධාවනය වීමට නියමිත දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වී තිබෙනවා .
ඒ අනුව එම දුම්රියේ මගීන්, බස් රථ ඔස්සේ ගිංතොට දුම්රිය ස්ථානයෙන් පසුව පිහිටි දුම්රිය ස්ථානයකට පැමිණ අනෙක් දුම්රියකට මාරුවීමේ හැකියාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා .