2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර සිටියි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, 2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කරන ලද අංක 2438/22 දරන සහ 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක් කර නොමැති බවයි.
වෙසක් පොහොය දිනට පසු දිනය නිවාඩු දිනයක් දැයි විවිධ පාර්ශ්වයන් විමසා සිටීම හේතුවෙන් කම්කරු කොමසාරිස්වරයා මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 7 වන වගන්තියට අනුව, 1996.10.14 දිනැති අංක 954/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත ව්‍යවස්ථාපිත නිවාඩු සංඛ්‍යාව 08ක් බවයි.
එම නිවාඩු දින කිසිවක් මේ දක්වා සංශෝධනය කර නොමැති බැවින්, 2026 වසරේ ප්‍රසිද්ධ නිවාඩු දින ලෙස සැලකෙන්නේ පහත සඳහන් දින පමණක් බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
2026 වසරේ ව්‍යවස්ථාපිත නිවාඩු දින ලැයිස්තුව:
ජනවාරි 15 (බ්‍රහස්පතින්දා) – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 04 (බදාදා) – නිදහස් සමරු දිනය (ජාතික දිනය)
අප්‍රේල් 13 (සඳුදා) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 14 (අඟහරුවාදා) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි 01 (සිකුරාදා) – ලෝක කම්කරු දිනය
මැයි 02 (සෙනසුරාදා) – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
අගෝස්තු 26 (බදාදා) – මිලා-දුන්-නබි (නබි නායකතුමාගේ උපන් දිනය)
දෙසැම්බර් 25 (සිකුරාදා) – නත්තල් උත්සව දිනය
මීට අමතරව වෙනත් කිසිදු දිනයක් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස සංශෝධනය කර නොමැති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

