දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙසෙන ජනතාවට අද (03) දිනයේ විශේෂ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, අද පස්වරු කාලයේදී වායුගෝලයේ ඇති විය හැකි හදිසි වෙනස් වීමක් හේතුවෙන් ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉතා හිතකර තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවිනි.
විශේෂයෙන්ම පස්වරු 2.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇද හැලීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇද හැලීමට නියමිතයි.
මීට අමතරව නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද පළාත්වල මෙන්ම වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.
මේ හේතුවෙන් රියදුරන් දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙසයි.
එළිමහන් ස්ථානවල රැඳී සිටීමේදී සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

