නැගෙනහිර ඉන්දුනීසියාව අද (02) අලුයම සිදුවූ අති ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් දැඩි කම්පනයකට පත්ව තිබේ.
රික්ටර් මාපකයේ 7.4ක අගයක් ගත් මෙම භූ කම්පනයත් සමඟ කලාපීය රටවල් කිහිපයකටම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ අද අලුයම මෙම භූ කම්පනය වාර්තා වූ බවයි.
භූ කම්පනයත් සමඟ හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, භූ කම්පන කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000ක් ඇතුළත පිහිටි වෙරළ තීරයන් වෙත භයානක සුනාමි රළ පැමිණීමේ අවදානමක් පවතින බවයි.
මෙම අනතුරු ඇඟවීමට අනුව ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවල වෙරළ තීරයන් වෙත දැවැන්ත සුනාමි රළ ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබේ.
එම රටවල වෙරළාසන්නව වසන ජනතාවට වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙසත්, උස් බිම් කරා යොමු වන ලෙසත් සහන සේවා කණ්ඩායම් දැනුම් දී ඇත.
විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, භූ කම්පනය සිදුවූ අවස්ථාවේදී එම ප්‍රදේශවල ගොඩනැගිලි දැඩි ලෙස සෙලවී ඇති අතර ජනතාව බියෙන් තැතිගෙන මහා මාර්ග කරා පැමිණ තිබේ.
තවමත් සිදුවූ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර, සහන කණ්ඩායම් දැඩි සෝදිසියෙන් පසුවේ.
පැසිෆික් කලාපයේ රටවල් මේ වන විටත් දැඩි සීරුවෙන් තබා ඇති අතර, ඉදිරි පැය කිහිපය තීරණාත්මක වනු ඇති බව විද්‍යාඥයෝ පවසති.

