රංගන ක්ෂේත්රයේ කාගෙත් අවධානය දිනා සිටින ජනප්‍රිය නව පරපුරේ නිළියක්, රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය තම සමීප හිතවතෙකුගෙන් ලබාගත් රන් මාලයක්, එහි හිමිකරුගේ අනුදැනුමකින් තොරව බත්තරමුල්ල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට උකස් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
එම රන් මාලය උකස් කර ඇය රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
රන් මාලයේ හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ තලංගම පොලිසියේ විවිධ පැමිණිලි අංශය අද (30) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
අත්අඩංගුවට ගත් සැකකාර නිළිය අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කළේය.
තම සේවාදායිකාව අදාළ රන් මාලය උකස් කර ඇති බවත්, එය නැවත බේරාගෙන එහි හිමිකරුට ලබා දීමට හැකියාව පවතින බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.
කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, සැකකාර නිළිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
අදාළ රන් මාලය උකස් මධ්‍යස්ථානයෙන් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම වූ අතර, නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැඳවීමට නියමිතයි.
විශ්වාසය පදනම් කරගෙන ලබාගත් දේපළක් සම්බන්ධයෙන් මෙවැනි ජනප්‍රිය තරුවක් නීතියේ රැහැනට හසුවීම ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

