පසුගිය දින කිහිපය පුරා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණි සේවාලාභීන් දැඩි අපහසුතාවයට පත් විය.
කෙසේ වෙතත්, එම පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් අදියරට පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තාක්ෂණික දෝෂය හේතුවෙන් මේ මස 23, 24 සහ 26 යන දිනවල බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලයට සහ පළාත් කාර්යාල වෙත පැමිණ හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන් සඳහා අද දිනයේ (විශේෂ දිනයක් ලෙස) එක්දින සේවය මඟින් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව, අදාළ දිනවල සේවය ලබාගත නොහැකි වූ පුද්ගලයන්ට අවශ්‍ය සියලුම ලේඛන රැගෙන පැමිණ තම හැඳුනුම්පත් ලබාගත හැකිය.
හෙට දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ මෙන්ම සියලුම පළාත් කාර්යාලවල ද සුපුරුදු පරිදි එක්දින සේවාව ක්‍රියාත්මක වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
ඒ අනුව, මින් ඉදිරියට එක්දින සේවය සඳහා පැමිණෙන ජනතාවට බාධාවකින් තොරව සිය සේවාවන් සපුරා ගැනීමට අවස්ථාව හිමි වේ.
පද්ධතියේ යාවත්කාලීන කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කර, ලබන මස 06 වනදා සිට දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කර සිටියි.

