මිනිසුන් අතර පවා දුර්ලභ වෙමින් පවතින උත්තරීතර සහෝදරත්වය සහ පක්ෂපාතිත්වය ලොවටම කියා දුන් සුනඛ රංචුවක අතිශය සංවේදී පුවතක් වයඹදිග චීනයේ ජිලින් පළාතෙන් වාර්තා වෙනවා.
මරණය අභියස සිට දිවි බේරාගෙන, තුවාල ලැබූ සිය සගයෙකු ද ආරක්ෂා කරගනිමින් කිලෝමීටර් 17ක දුරක් ගෙවා සිය හිමිකරුවන් සොයා ගිය මෙම සුනඛයින් හත්දෙනාගේ කතාව මේ වන විට ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ දෑසට කඳුළු උනන්නට සමත්ව ඇත.
මෙම සුනඛයින් පිරිස මස් පිණිස විකිණීම සඳහා ලොරියක පටවාගෙන යමින් සිටියදී, උන් කෙසේ හෝ ඉන් බේරීමට සමත්ව තිබේ.
නමුත් ඔවුන් සිටියේ තම නිවසින් බොහෝ ඈතකය.
චංචුංග් අගනුවර කාර්යබහුල අධිවේගී මාර්ගයක උන් අතරමංව සිටියද, උන්ගේ එකම අරමුණ වූයේ කිලෝමීටර් 17ක් ඈතින් පිහිටි සිය හිමිකරුවන්ගේ ගම්මානයයි.
වීඩියෝ දර්ශනවලට අනුව, මෙම සත් දෙනෙකුගෙන් යුත් සුනඛ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ‘කෝර්ගි’ (Corgi) වර්ගයේ කුඩා කුරු බල්ලෙකි.
මෙම කණ්ඩායම අතර සිටින ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලා දැඩි ලෙස තුවාල ලබා සිටින අතර, ඌට වේගයෙන් ගමන් කිරීමට අපහසු බව පෙනෙන්නට තිබේ.
නමුත් සෙසු සුනඛයින් තම තුවාල ලැබූ මිතුරා තනි කර දමා ගියේ නැත. උන් සියල්ලන්ම එම ජර්මන් ෂෙපර්ඩ් සුනඛයා වටකර ගනිමින්, අධිවේගී මාර්ගයේ වාහනවලින් ආරක්ෂා කරමින්, උගේ වේගයට අනුව ගමන් කරන අයුරු අතිශය සංවේදීය.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ මෙම වීඩියෝව දුටු ලොව පුරා පරිශීලකයින් පවසන්නේ “මිනිසුන්ට වඩා උතුම් ගුණාංග සතුන් තුළ පවතින බවට මෙය හොඳම නිදසුනක්” බවයි.
අධිවේගී මාර්ගයේ අනතුරුදායක තත්ත්වයන් මධ්‍යයේ වුවද, සහෝදරත්වය අත්නොහළ මෙම “සුනඛ හමුදාව” අවසානයේ සිය හිමිකරුවන් සිටින නිවස කරාම ආරක්ෂිතව ළඟා වීමට සමත්ව ඇත.
සත්ත්ව ලෝකයේ පවතින ආදරය සහ එකිනෙකා කෙරෙහි ඇති බැඳීම මැනවින් විදහා දැක්වූ මෙම පුවත මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පවා ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ.

