
එංගලන්තයේ හෝටල් සේවකයන්ට පහර දී නිරුවත පෙන්වූ ලාංකිකයා වරදකරු වෙයි
එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී, ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට පෝර්ට්ස්මත් ක්‍රවුන් (Portsmouth Crown Court) අධිකරණය තීන්දු කර තිබෙනවා.
සුකීර්තන් තංගරාසා නමැති මෙම පුද්ගලයාට එරෙහිව පවත්වන ලද නඩු විභාගයේදී හෙළි වූයේ 2025 අගෝස්තු 15 වන දින සවුත්හැම්ප්ටන් හි ‘හයිෆීල්ඩ් හවුස්’ (Highfield House) හෝටලයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.
පැමිණිල්ල මෙහෙයවූ ජැක් ෆර්නස් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, තංගරාසා සිය ජංගම දුරකථනය ක්‍රියා නොකිරීම හේතුවෙන් දැඩි කෝපයට පත්ව හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවය.
එහිදී ඔහු සේවකයින්ට බැණ වදිමින් ප්‍රකාශ කර ඇත්තේ, “මම ශ්‍රී ලංකාවේ කෙනෙක්, ඉන්දියාවේ සහ පකිස්තානයේ ඉන්න ඔයාලා වගේ කුඩා මිනිස්සු මට ගරු කරන්න ඕනේ” යනුවෙනි.
මෙහිදී උච්චතම අවස්ථාව ලෙස ඔහු සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර, එය වැළැක්වීමට උත්සාහ කළ සේවකයන් දෙදෙනෙකුට පහර දී තිබේ.
මෙම සම්පූර්ණ සිදුවීම හෝටලයේ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන මඟින් සනාථ වී ඇති අතර, සැකකරු මීට පෙර අවස්ථාවකදී පහරදීමේ චෝදනාවට වරද පිළිගෙන තිබුණි.
නිරුවත ප්‍රදර්ශනය කළ බව සැකකරු පිළිගත්තද, එය අනෙකෙකු බිය ගැන්වීමේ චේතනාවෙන් සිදුනොකළ බව ඔහු අධිකරණයේදී පැවසුවත්, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ ජූරි සභාව ඔහු වරදකරු බවට තීරණය කළේය.
මෙම නඩු විභාගය සඳහා සැකකරුට දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සහායද අධිකරණය විසින් ලබා දී තිබූ අතර, නඩුවේ ඉදිරි කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

