බොරලැස්ගමුව පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
පසුගිය 24 වනදා අළුයම් කාලයේ බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබුණා.
ඊයේ(25) දහවල් මහරගම පොලිස් වසමේ නාවින්න කීල්ස් සුපර් වෙළෙඳසැල අසල දී සිදු කල වැටලීමකින් අදාල වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත .
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20.55 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් වන පුද්ගලයෙකි.
මොහු බඩෝවිට අසංක නැමැති පාතාල නායකයාගේ ගෝලයෙකු වන බවටද සඳහන් වේ .
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාගොඩ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා .

