සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින්, යළි සේවා ස්ථාන කරා පැමිණෙන සහ ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් අද (15) සිට විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ, මගී අවශ්‍යතාවය මත අද දිනයේ සිට අතිරේක බස් රථ ධාවනයට එක් කරන බවයි.
මේ සම්බන්ධයෙන් සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවරුන් දැනුවත් කර ඇති අතර, මගීන්ට කිසිදු අපහසුවකින් තොරව තම ගමනාන්ත කරා ළඟා වීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව එහි ධාවන අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර, අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය සියල්ල සුපුරුදු පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, දුම්රිය ස්ථානවල පවතින මගී තදබදය නිරීක්ෂණය කරමින්, අවශ්‍යතාවය අනුව අතිරේක දුම්රිය වාර කිහිපයක් ද ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව අවුරුදු සිරිය මැද යළි සේවයට වාර්තා කරන ඔබ සැමට, කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව තම ගමනාන්ත කරා ළඟා වීමට මේ හරහා අවස්ථාව හිමි වනු ඇත.

