කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර මහජනතාවගේ ජීවිත අවදානමට ලක් කරමින් අන්තරාදායක අයුරින් රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ අවුරුදු උත්සවයේ පාපැදි තරඟයක් පවත්වා ඇති අතර, එම තරඟය ඉදිරියෙන් මෙම කාර් රථය ධාවනය කර ඇත. එහිදී මාර්ගය දෙපස රැස්ව සිටි විශාල ජනකායට සහ ඔවුන්ගේ දේපළවලට දැඩි හානි සිදුවිය හැකි පරිදි අතිශය අන්තරාදායක ලෙස රිය පදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මෙම දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව කටුනායක පොලිස් ස්ථානය මගින් වහාම විමර්ශන ආරම්භ කරන ලදී.
ඒ අනුව, අදාළ මෝටර් රථය සහ එය පැදවූ තරුණයා හඳුනාගෙන පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඔහුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
කටුනායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

