බලයේ අනිත්‍යතාව පසක් කරමින් ඉරාන උත්තරීතර නායකයා අවසන් ගමන යයි

බලයේ අනිත්‍යතාව පසක් කරමින් ඉරාන උත්තරීතර නායකයා අවසන් ගමන යයි

දශක තුනකට අධික කාලයක් ඉරානයේ නොසැලෙන බලකේන්ද්‍රය මෙන්ම ඉස්ලාමීය ලෝකයේ ප්‍රබලතම නායකයෙකු වූ අයතුල්ලා අලි කමේනිගේ අභාවය සනිටුහන් කරමින්, ඔහුගේ අවමංගල්‍ය උත්සවය අද (04) ටෙහෙරාන් අගනුවරදී පැවැත්වීමට නියමිතයි.

මෙම නික්මයාම ලෝක දේශපාලන සිතියම උඩුයටිකුරු කර ඇති අතර, එය බලයේ පවතින අස්ථිර බව සහ ජීවිතයේ පවතින අවිනිශ්චිතතාව මැනවින් ලොවට කියාපායි.

පසුගිය සෙනසුරාදා ආරම්භ වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර මාලාව අතරතුර කමේනිගේ අභාවය සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි.

දැවැන්ත ආරක්ෂක වළලු සහ උත්තරීතර ගෞරව මැද වැජඹුණු නායකයෙකු වුවද, යුධමය වාතාවරණයක් මැද මෙලෙස අනපේක්ෂිත ලෙස සමුගැනීම දෛවයේ සරදමක් වැනිය.

මෙම අවමංගල්‍ය උත්සවයට සමගාමීව, ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පියෙකුගේ අභාවය සහ පුත්‍රයෙකුගේ බලයට පත්වීම යන සංවේදී සහ දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම ඓතිහාසික සමුගැනීම අපට පසක් කරන්නේ, පුද්ගලයෙකු සතු බලය, ධනය හෝ නිලතල කොතරම් ඉහළ වුවද, මරණය ඉදිරියේ ඒ සියල්ල අසරණ වන බවයි.

මුළු මහත් රාජ්‍යයක සහ කලාපයක ඉරණම තීරණය කළ නායකයෙකු පවා නිමේෂයකින් ඉතිහාසයට එක් වීම, ජීවිතයේ පවතින අතිශය අවිනිශ්චිත බව පිළිබඳ කදිම නිදසුනකි.