ශ්‍රී ලංකා පොලිසිය විසින් ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඔබ නොදැනුවත්වම ඔබේ දුරකථනයේ පාලනය අන්සතු කර, බැංකු ගිණුම්වල ඇති මුදල් කොල්ලකෑම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම වංචාව ප්‍රධාන වශයෙන් WhatsApp සහ Telegram වැනි සමාජ මාධ්‍ය යෙදවුම් හරහා සිදුවේ.
නාඳුනන අංකයකින් හෝ ඇතැම් විට ඔබේ මිතුරෙකුගේ නමින්ම මංගල ආරාධනා පත්‍රයක්, විදුලි බිල්පතක් හෝ දිනුම් ඇදීමක තොරතුරු ලෙස හැඟවෙන පණිවිඩයක් ඔබට ලැබිය හැකිය.
අන්තරායකර .apk ගොනු: මෙම පණිවිඩය සමඟ රූපසටහනක් හෝ PDF එකක් ලෙස පෙනෙන, එහෙත් අවසානයට “.apk” ලෙස සඳහන් වූ ගොනුවක් (File) එවා තිබේ.
ඔබ මෙය විවෘත කළ සැණින් ඔබේ දුරකථනයට හොර රහසේම මෘදුකාංගයක් (App) ස්ථාපනය වේ.
ඉන්පසු හැකර්වරුන්ට ඔබේ දුරකථනයේ ඇති SMS කියවීමට සහ දුරකථනය පාලනය කිරීමට අවස්ථාව ලැබේ.
ඔවුන් ඔබේ බැංකු ගිණුම්වලට ඇතුළු වීමට උත්සාහ කරන අතර, ඒ සඳහා ලැබෙන රහසිගත OTP කේතයන් ඔවුන් අතට පත්වීම නිසා ඉතා කෙටි කලකින් ඔබේ ගිණුමේ ඇති මුදල් සොරකම් කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.
කිසිවිටෙකත් නාඳුනන අංකවලින් ලැබෙන හෝ මිතුරන් එවුවද සැකකටයුතු යැයි හැඟෙන “.apk” ගොනු Download හෝ Install නොකරන්න.
සැමවිටම ජංගම දුරකථන යෙදවුම් (Apps) ලබාගැනීමේදී Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කරන්න.
ඔබේ දුරකථනයේ Settings වෙත ගොස් “Install Unknown Apps” යන්න අක්‍රිය (Disable) කර ඇති බව තහවුරු කරගන්න.
OTP රහස්‍යභාවය: ඔබේ OTP කේත කිසිවෙකු සමඟ බෙදා නොගන්න.
යම් හෙයකින් ඔබ එවැනි ගොනුවක් විවෘත කළේ නම් හෝ ඔබේ ගිණුමෙන් අසාමාන්‍ය ලෙස මුදල් කැපී ඇත්නම් වහාම ඔබේ බැංකුව අමතා ගිණුම් සහ කාඩ්පත් අත්හිටුවන්න.
ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරන්න.
ඔබේ සුළු නොසැලකිලිමත්කම ඔබේ මුළු ජීවිත කාලයම ඉතිරි කරගත් මුදල් අහිමි කිරීමට හේතු විය හැක. සැමවිටම අවධානයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න.

