ලේ නෑකම් සහ පවුල් සබඳතාවල ඇති වටිනාකම මොහොතකට අමතක වී යාමෙන් සිදුවන විනාශය කෙතරම් දරුණු දැයි පසක් කරන අවාසනාවන්ත පුවතක් මාතලේ, අතිරහපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
වසර 64ක් තිස්සේ ජීවිතයේ බර කරට ගෙන කටයුතු කළ පියෙකුට, තමන් ලෙයින් මසින් පෝෂණය කළ තමන්ගේම පුත්‍රයා අතින් අවසන් ගමන් යන්නට සිදුව ඇත්තේ මුළු ප්‍රදේශයම කම්පනයට පත් කරමිනි.
පොලීසිය පවසන පරිදි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (24) උදෑසන කාලයේදීය. නිවසේ ඇති වූ සුළු බහින්බස් වීමක් දුරදිග යාම මෙම ඝාතනයට හේතු වී තිබේ.
කෝපය පාලනය කර ගැනීමට නොහැකි වූ 33 හැවිරිදි පුත්‍රයා විසින් සිය පියාට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, එම බරපතල තුවාල හේතුවෙන් පියා ජීවිතක්ෂයට පත්ව ඇත.
සෙනෙහස සහ රැකවරණය පිරී තිබිය යුතු නිවසක් තුළ මෙවැනි ඛේදවාචකයක් සිදුවීම සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
මොහොතක කේන්තිය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එක් පසෙකින් පියෙකුගේ ජීවිතය අහිමි වී ඇති අතර, අනෙක් පසින් තරුණ පුත්‍රයෙකුට සිය පියා ඝාතනය කිරීමේ චෝදනාව මත සිරගත වීමට සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරු පිළිබඳ මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ලේ නෑකම්වලට වඩා ක්‍රෝධය ඉස්මතු වූ මෙම සිදුවීම, සමාජයේ ඕනෑම අයෙකුට තම හැඟීම් පාලනය කරගැනීමේ වැදගත්කම පිළිබඳව ලබාදෙන්නේ අමිහිරි පාඩමකි.

