අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට මහනුවර, නිත්තවෙල – මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා .
ඊයේ දහවල් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහු 57 වන වියෙහි පසුවුණා.
1968 වසරේ ජුනි මස 22 වනදා උපත ලැබූ ලොහාන් රත්වත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමල් පුත්‍රයා වන අතර ජනරාල් අනුරුද්ධ රත්වත්තේ හිටපු අගමැතිනි දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහෝදරයා ද වේ .
2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට ප්‍රථම වරට තේරි පත්වූ ඔහු, 2010 වසරේදී පර්ලිමේන්තුවටද තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසයි.
2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් වූ අතර පසුව ඔහු මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබුවා.
2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර දරනු ලැබුවා.
අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී 2024 වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයටද පත්වුණා.
ආණ්ඩු ගණනාවක් යටතේ දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක චරිතයක් වූ ලොහාන් රත්වත්තේ විමර්ශන ගණනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම්වලට මුහුණ දුන්නා.