අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදි කිරීම සඳහා කපා තිබු අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළකට වැටී 08 හැවිරිදි දරුවෙකු මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණා .
මෙලෙස මිය ගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි හෙලෝන් සසාන් නම් 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි .
එම වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදි කිරීම සඳහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළක් මෙම පියා විසින් කපා තිබුණා .
මෙම කුඩා දරුවා වැසි ජලය පිරී තිබූ එම වළ අසළින් ඊයේ (03) ගමන් කරමින් සිටි අවස්ථාවක ඔහු එම වළට වැටෙන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සැකපල කරනවා .
මද වෙලාවක සිට සිය බාල පුත්‍රයා නිවසේ නොමැතිවීමත් හේතුවෙන් පියා විසින් ඒ පිලිබඳව සොයා බලා ඇති අතර පසුව ඇති වූ සැකයක් මත වැසිකිළි වළ අසල පරීක්ෂා කිරීමේ දී එම ස්ථානයේ තිබී දරුවාගේ පාවහන් යුගළ දැක ඇත .
පසුව ඔහු වළ තුලට බැස පරික්ෂා කිරීමේ දී එහි සිය පුත්‍රයා සිටින බව දැක අසල්වාසීන්ගේද සහාය ඇතිව දරුවා ගොඩට ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බවයි පොලීසිය පවසා සිටියේ .
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා .